හිතන්නවත් බැරි අය ළඟදීම අල්ලනවා

පොලිසිය දැන් වැඩ කරන්නේ මහජන අවශ්‍යතාව අනුව විතරයි. අරයාගේ මෙයාගේ මේ පැත්තෙන් පිටිපස්ස එන බලපෑම් පොලිසියට දැන් නැහැ. යහපාලනය ශක්තිමත් කිරීම පොලිස්පතිවරයාගේ යුතුකමක් සහ වගකීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

මහා පරිමාණයෙන් දූෂණවල යෙදුණු සිහිනෙකින්වත් නොසිතූ ඇතැම් පුද්ගලයන් රටේ පවත්නා නීතියට අනුව ඉදිරි දිනවලදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බවද පොලිස්පතිවරයා පැවැසීය.

පොලිස්පතිවරයා එසේ පැවැසුවේ හෙතෙම මූලික අධ්‍යාපනය ලැබූ ඉබ්බාගමුව, මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේදී පසුගිය 15දා පස්වරුවේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා
'අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රජයට සහ මේ රටේ මහජනතාවට අනිවාර්යයෙන්ම තව ටික දවසක් යනකොට තේරෙයි. පොලිසිය තිබුණාට වඩා ශක්තිමත් වෙනවාමයි. අපරාධ වැළැක්වෙයි. විසඳෙයි. දූෂණ මර්දනය වෙයි. ආරක්ෂාව තහවුරු වෙයි. අකටයුතුකම්වලට වැට බැඳෙයි. දූෂිත අය තවදුරටත් ඇතුළට යයි. මහා පරිමාණයෙන් කරපු අය, හීනෙකින්වත් හිතපු නැති සමහර අය රටේ පවත්නා නීතියට අනුව පරීක්ෂණවලින් පසුව අධිකරණයට ඉදිරිපත් වෙයි. ඒ කවුරුන් හෝ වේවා වෙනත් න්‍යාය පත්‍ර නම් නොවේ. සුදු වෑන්, කළු වෑන්, රතු වෑන් නෙවෙයි.'

'මේ සමාජයත් එක්ක අපි යායුත්තේ ඉදිරියක් බලාගෙන. අද අපිට එහෙම ඉදිරියක් බලාගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. භීෂණයක් නැහැ. ත්‍රස්තවාදයක් නැහැ. බලපෑම් නැහැ. ඇඟිලි ගැසීම් නැහැ. දේශපාලන අතකොළු වෙන්න කවුරුත් අවශ්‍ය නැහැ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමන් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේදී වගේම අනෙක් ප්‍රශ්නවලදීත් රාජ්‍ය නායකයා විදියට තමන්ගේ ප්‍රකාශය සමස්ත ජනතාව වෙත ප්‍රකාශ කරලා ඉවරයි කිසිම බලපෑමකට ලක්වෙන්න දෙන්නේ නැති බවට.

මෙය ඉතාම පැහැදිලිව අපේ අගමැතිතුමා නැවත නැවත කියලා තියෙනවා. කිසිකෙනකුට ඇඟිලි ගැසීම් කරන්න දෙන්නේ නැහැ කියලා. අපේ රටේ වාසනාවකට වගේ ඇතිවෙච්ච මේ ප්‍රබල දේශපාලන පක්ෂ දෙකේ සම්බන්ධීකරණය හෙවත් අපි කවුරුත් හඳුන්වන යහපාලනය ශක්තිමත් කිරීම පොලිස්පතිවරයාගේ යුතුකමක්. වගකීමක්.'

'පොලිසිය අද වැඩ කරන්නේ මහජන අවශ්‍යතාව අනුව විතරයි. අහවලාගේ, අරයාගේ, මෙයාගේ යටිපැත්තෙන්, පිටිපස්ස එන බලපෑම්, න්‍යාය පත්‍ර කොහෙත්ම නැහැ. අරහෙන් මෙහෙන් ආවොත් කිසි දෙයක් වෙන්නේ නැහැ. තනිකරම මහජන අවශ්‍යතාව විතරයි. පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරීන් තීරණ ගන්නේ රාජ්‍ය අවශ්‍යතාව අනුව විතරයි. උසස්වීම්, ස්ථාන මාරුවීම් සියල්ල එලෙසයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු එකසිය පනහක් ගතවෙන ශ්‍රී ලංකා පොලිසිය ශක්තිමත් කරන්න. මගේ වාසනාවට වගේ මට හිතෙනවා මම ඒ අවුරුද්දේ පොලිස්පති. මට ආඩම්බරයි. උද්ධච්ඡ නොවේ. නිහතමානි ආඩම්බරයක් තියෙන්නේ' යැයි පැවැසීය.

නාරත්න, කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරුන් වන සමරකෝන් බණ්ඩා, චරිත ජයසුන්දර යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක්ද සහභාගි වී සිටියහ.