හිරු සම්මාන උළෙලට බොලිවුඩයේ සුපිරි තරු

හිරු සිනමා සම්මාන උළෙල (Hiru Golden Film Awards) මෙවරත් අති උත්කර්ෂවත් ලෙස සැප්තැම්බර් 11 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව වසර දෙකකට වරක්‌ පවත්වන හිරු සිනමා සම්මාන උළෙලට මෙවර බොලිවුඩයේ සුපිරි තරු වන ශ්‍රී දේවි, මධුරි ඩික්‌සිත්, කරිෂ්මා කපුර්,නීල් නිතින් මුකේෂ්, ජැකී ශෙරොප් සහභාගි වෙති.

මෙරට සිනමා සම්මාන ඉතිහාසය වෙනස්‌ කරමින් නවමු ප්‍රවේශයකින් පවත්වන හිරු සිනමා සම්මාන උළෙල මෙවර පවත්වන්නේ දෙවැනි වරටය. සැබැවින්ම ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අත්දැකීම් මෙරටට ලබාදෙමින් මෙරට සිනමාකරුවන්ට සහ සිනමා කර්මාන්තයට ගෞරවනීය පිළිගැනීමක්‌ ලබා දෙන හිරු සිනමා සම්මාන උළෙලේදී 2014 සහ 2015 වසරවල තිරගතවූ චිත්‍රපට සම්මාන සඳහා සලකා බැලේ.

මෙහිදී සම්මාන හතළිහක්‌ පිරිනැමෙන අතර නව සම්මාන කීපයක්‌ද හඳුන්වා දීමට හිරු සිනමා සම්මාන උළෙලේ සංවිධායකයන් තීරණය කර ඇත.