පාද යාත්‍රාවට සියලු පහසුකම් සලසන්න

ඒකාබද්ධ විපක්ෂය විසින් එළැඹෙන 28 වැනි දා මහනුවරින් ආරම්භ කරන ජන සටන පාද යාත්‍රාවට එක්වන මහ ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඊයේ (25) පස්වරුවේ උපදෙස් දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ඊයේ (25) පස්වරුවේ පැවැති රැස්වීමකදීය.

මෙහි දී පාගමන සම්බන්ධයෙන් එහි සංවිධාන කටයුතු භාරව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුම්වත් කර ඇත.
එම අවස්ථාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් මීට පෙර එක්වූ පාගමන්වල දී කටයුතු කළ ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුම්වත් කර ඇත.
මෙම රැස්වීම පස්වරු හයට පමණ ආරම්භ වූ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී 7.00ට කැඳවා තිබිය දී ඊට පෙර මෙම හමුව සිදුවීම ද විශේෂත්වයකි.
හිටපු ජනාධිපතිවරයා සමග පැවැති රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ සහ රාජා කොල්ලුරේ හා පක්ෂ නායකයන් එක්ව සිටිය ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එක්ව නොසිටි බව ද වාර්තා විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූ නව නිල නිවසේ පැවැති පළමු රැස්වීම මෙය වීම ද විශේෂත්වයකි.

නුවන් සේනාරත්න