ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කළාට තමාට ගැටලුවක් නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරීමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙහිදී ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාව ගැන විමසා ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ මෙය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කරනා විරෝධතා පා ගමනක් පමණක් බවයි.
එවැනි විරෝධතාවයන් සම්බන්ධයෙන් තමාට ගැටලුවක් නැති බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා එසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කටයුතු නොකරන ලෙස කියා ඇත. පක්ෂයේ විනය හා ව්‍යවස්ථාව කඩවන ආකාරයට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කර තිබූ ගිවිසුම ගැන මන්ත්‍රීවරු විමසා ඇති අතර මෙය පක්ෂ සාමාජිකයන්ගේ අනුමැතියෙන් තොරව කළ බවද ඔවුන් පෙන්වා දී ඇත. එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ ජාත්‍යන්තර ආධාර උපකාර රටට ලබා ගැනීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බැවින් මේ තීරණය ගත් බවය.ඊයේ රාත්‍රි 7.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙම සාකච්ඡාව පැවැත් වී ඇති අතර ඉන් පසුව මන්ත්‍රීවරු විසිර ගොස් තිබේ. සාකච්ඡාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරු කියා සිටියේ එය සුහදව පැවැති බවයි.
ලසන්ත වීරකුලසූරිය