ලංකාවේ පළමුවැනි ‘චයිනමන්’ පන්දු යවන්නා

ජගත් ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු ‘චයිනමන්’ පන්දු යවන්නා බවට පත්වීම තම වුවමනාව වී තිබූ බව ලක්ෂාන් සඳකැන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු පිතිකරු මිචල් මාෂ් දවාලමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තමා ලබා ගත් පළමු කඩුල්ල ඊයේ ලබා ගත් අනෙක් කඩුලුවලට වඩා වටිනාකමින් වැඩි බවද ලක්ෂාන් ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ පළමු ‘චයිනමන්’ පන්දු යවන්නා බවට පත්වීමේ සඳකැන්ගේ සිහිනය සැබෑ වූවා පමණක් නොව ඔහු මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක හොඳම දක්ෂතාවක් දක්වමින් කඩුලු හතරක් ලබා ගත් ‘චයිනමන්’ පන්දු යවන්නා ලෙසින්ද ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

මීට පෙර සිය මංගල ටෙස්ට් තරගයකදී කඩුලු හතරක් ලබා ගත් ‘චයිනමන්’ පන්දු යවන්නෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ වසර අසූවකට පමණ පෙර කාලයකදීය. ඒ, 1935 වසරේ දෙසැම්බරයේදීය. ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැති ඒ ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ ෆ්ලීට්වුඩ් ස්මිත් ලකුණු 64කට කඩුලු 4ක් ලබා ගත්තේය. ඒ, ඕවර 28ක් යවමිනි. එහෙත් සඳකැන් ඊයේ කඩුලු 4ක් ලබා ගත්තේ ලකුණු 58ක් පමණක් ලබා දෙමිනි. ඒ වෙනුවෙන් ඔහු වැය කළේ ඕවර 21යි පන්දු 2ක් පමණි. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කෙළිබිමේ තමන් මෙතෙක් දැක තිබෙන අනෙක් එකම ‘චයිනමන්’ පන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හොග් බව සඳකැන් කියා සිටියේය. ක්‍රිකට් ක්‍රීඩාව තමා ආරම්භ කළේ වයස අවුරුදු 19දී බවත් එදා සිටම තමා යැවුවේ ‘චයිනමන්’ පන්දු බවත් සඳකැන් සඳහන් කර සිටියේය. එදා මෙදා තුර තමන්ට සිටි බොහෝ පුහුණුකරුවන්ගෙන් කිසිම කෙනෙක් තමන්ගේ පන්දු යැවීමේ ශෛලිය වෙනස් කිරීමට උත්සාහ නොකළ බවද 25 හැවිරිදි පත්තම්පෙරුම ආරච්චිගේ දොන් ලක්ෂාන් රංගික සඳකැන් ප්‍රකාශ කළේය.

2015 ප්‍රිමියර් ලීග් තරගාවලියේ කඩුලු 55ක් ලබා ගත් සඳකැන් එම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්විය.

“චයිනමන් පන්දු යවන විවිධ ක්‍රම හතරක් මට තියෙනවා” යැයි සඳකැන් සිනාමුසුව කියා සිටියේය. දැනට පල්ලෙකැලේ තණතීරුවේ ලොකු දඟකැවීමක් දක්නට නැතත් තරගය පරණ වෙද්දී එය දඟ පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇතැයිද පැවසූ සඳකැන්, “දෙවැනි ඉනිමේදී අපට ලකුණු 300කට වැඩියෙන් ලබා ගන්න පුළුවන් වුනොත් තරගය ජය ගන්න හැකිවේවි” යැයි බලාපොරොත්තු පළකර සිටියේය.

“රංගන (හේරත්) අයියා හැම විටම මා ළඟින් හිටියා. මට උපදෙස් දුන්නා. කඩුලු නොලැබෙන පළමුව මූලික ක්‍රමවේදයන් අනුගමණය කරන ලෙසටත් ඉන්පසුව ‘රිදම්’ එක ආවාට පසුව කඩුලු ලබා ගත හැකි බවටත් කියමින් මාව දිරිමත් කළා. ඩිල්රුවන් පෙරේරාත් මට උදව් කළා. පිතිකරුවෙක් වරක් දෙවරක් පන්දුවට පරදින විට ඕනෑම පන්දු යවන්නෙකු තුළම විශ්වාසයක් ඇති වෙනවා. මමත් හරි තැන්වලට පන්දු පතිත කළා. අවසානයේ ප්‍රතිඵල ලැබුනා” සඳකැන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.