මාධ්‍යයට තවත් රතු එළියක්

- A Red Light For Media
මාධ්‍යයන්හි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මේ බව සඳහන් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘මූලාශ‍්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික අචාරධර්මය බිද දමමින් හා කිසිදු වග විභාගයකින් තොරව ප‍්‍රවෘත්ති පළ කිරීම මගින් සමාජයේ දුර්මතයක් පතුරුවන්නට ඇතැම් ජනමාධ්‍ය විසින් දරන උත්සාහයන් කිහිපයක්ම පසුගියදා දක්නට ලැබිණි.

ඒ සදහා ආසන්නම උදාහරණය වන්නේ පසුගිය සති අන්තයේ ඉරිදා පුවත්පතක් ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධ කරගනිමින් ‘යුද අධිකරණය තව මාස 09 කින් විදෙස් විනිසුරුවොත් එයි’යන අසත්‍ය ප‍්‍රවෘත්තිය ප‍්‍රධාන සිරස්තලයේ යොදමින් ප‍්‍රකාශයට පත්කිරීමයි.මේ ප‍්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය එම පුවත ලියූ මාධ්‍යවේදියාගේ හිතලූවක් පමණි.එබදු හිතලූ පුවත් පළකිරීමේ අරමුණ විය හැක්කේ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමයි.රටේ උද්ගතව තියෙන සංහිදියාව බිද දැමීමයි.

එසේම ඇතැම් අයගේ පුද්ගලික මට්ටමේ ක‍්‍රියාකාරකම් ජනමාධ්‍ය අවභාවිතයට ගෙනෙමින් ඒවා රජයට එරෙහි සංදර්භයක පිහිටුවා තබා පටු දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ආයතන ගෙන ඇති බව පෙනේ.ඒ සදහා උදාහරණයක් වන්නේ පසුගියදා මඩකලපුව මංගලාරාම නායක ස්වාමීන් වහන්සේ තම විහාරයේ ඉදිකරන ලද සමර ඵලකයක් කඩා දැමීමේ ප‍්‍රවෘත්තියයි.එම සිදුවීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැත.එහෙත් මූලාශ‍්‍ර විමසීමේදී ආචාරධර්ම බිද දමමින් රටේ රාජ්‍ය නායකයාට එරෙහිව පුද්ගලික ද්වේශයක් මතුවන ලෙස එවැනි පෞද්ගලික මට්ටමේ පුවත් පළ කිරීම කිසිදු දියුණු මාධ්‍ය සම්ප‍්‍රදායක ලක්ෂණයක් නොවේ.

රටේ දැනට උද්ගත වෙමින් පවතින නිදහස් මාධ්‍ය වාතාවරණය ප‍්‍රයෝජනයට ගනිමින් හා මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් රජයටත්,ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරිමින් සමහර මාධ්‍ය ආයතන ද්වේෂ සහගත හැසිරීමක නිරත වී සිටින ආකාරය මෙම කෘතීම ප‍්‍රවෘත්ති වලින් පෙනෙන්නට තිබේ.

මෙවැනි සාවද්‍ය පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත‍්‍ර මගින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බවද සදහන් කළ යුතුව ඇත.

ආචාර්ය රංග කලන්සුරිය
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්