පාසල් සිසුවියක දුෂණය කළ හිමිනමක් සොයයි

බාලවයස්කාර පාසල් සිසුවියක දුෂණය කළ බව කියන තරුණයෙකු සහ ඇයට අතවර කිරීමට උත්සහ කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති පල්ලම පොලීසියේ නිලධාරීන් මෙම දැරිය දුෂණය කළ බව කියන භික්ෂුන්වහන්සේ කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අතවරයට ලක්ව ඇත්තේ පල්ලම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 15 ක් වන දැරියකි.

ඇය ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතර තම මව,පියා සහ සහෝදරියන් දෙදෙනෙකු සමග ජීවත් වන දැරිවියකි.

පසුගිය 17 වැනිදා රාත්‍රීයේ මෙම දැරිය නිවසේ නිදා සිටින විට කිසිවෙකුට හොර රහසේ පැමිණ  ඇයගේ කකුලෙන් ඇද අතවර කිරීමට උත්සාහ කර ඇති බවත්, මේ බව දැන ගෙන ඇති ඇයගේ මව්පියන් විසින්  පල්ලම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් සඳහන්ය.

ඒ අනුව දැරියගේ නිවසට යාබද නිවසක පදිංචි 17 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගෙන් පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරන අවස්ථාවේදී ඇය තමන්ට මීට පෙර සිදුවී ඇති අතවරයන් දෙකක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.

තමන් 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින විට භක්ති ගීත තරගයක් සදහා සහභාගි වීමට කොළඹ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී නවාතැන් ගෙන සිටි විහාරස්ථානයේ සිටි තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙකු මුලින්ම තමන්ව දුෂණය කළ බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

භක්ති ගීතයක් ලියා දීමට යැයි පවසා තමන් මෙම භික්ෂුන් වහන්සේ විසින් කැදවාගෙන ගොස් ඇති බවද ඇය පවසා තිබේ.

පසුව 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින විට ඥාති සහෝදරයෙකු දෙවැනි වරටද තමන්ව දුෂණය කළ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

වයස අවුරුදු 17 ක් වන එම සැකකරුද මේවන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් දැරිය හෙළිකර ඇති පෙර අපරාධයන් දෙක සම්බන්ධයෙන් ඇයගේ මව්පියන් මීට පෙර දැන සිට නැති බව පොලීසිය කියයි.

මව්පියන් තම දරුවන් සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වන්නේ නම් මෙවැනි අපරාධයන් සිදු නොවන බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය පළමු වරට දුෂණය කළ බව කියන භික්ෂුන් වහන‍්සේ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.