බුධ සිංහ රාශියට - ලග්න පලාපල

buda maruwa 2016
ග්‍රහ ලොව කුඩාම ග්‍රහයා බුධයි. හිරුට ඉතාම සමීපයෙන් ගමන් කරයි. බුධගේ ගතිගුණ කුඩා දරුවකුට සමානයි. සිරිත් විරිත් ගතිගුණ බුධට සංයෝගවූ අනෙක්‌ ග්‍රහයන්ගේ ගතිගුණ ගනී . බුධ කොයි කාටත් එක සමාන සේවයක්‌ සලසයි. ඉගෙනීමට බුධ දක්‌ෂයි. මතක ශක්‌තිය හොඳින් පවතී. ගණිත මිණිත විෂයයන්ට බුධ දක්‌ෂ වන්නේ උච්ච බලයෙන් හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටි විටය.

බුධට කන්‍යා රාශියේ දී උච්ච බලයත් ස්‌වක්‍ෂේත්‍ර බලයත් ලැබේ. මිථුනයට ස්‌වක්‍ෂේත්‍රයි. බුධ මිත්‍ර වන්නේ වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශිවලටයි. සතුරු රාශි කටක, සිංහ රාශි වෙයි. මීනයට නීච වෙයි.

අනෙක්‌ රාශිවලට (මේෂ - වෘශ්චික - ධනු) සම වේ. බුධ යහපත්ව සිටීමෙන් පොත්පත් කියවීම, ග්‍රන්ථකරණය, කතාවට, සංගීත, චිත්‍ර කලාවට දක්‌ෂතා දක්‌වයි.

බුධ රවි සමඟ ඉතාම ළඟින් ගමන් කරන නිසා බුධ ග්‍රහයා බුද්ධිමත්ව ක්‍රියා කරයි. රවිගෙන් දුරස්‌ වී කුජ සතුරු සමඟ සිටීමෙන් අයථා ක්‍රියාවලට යොමුවේ. බුධ ග්‍රහයා දුබලව සිටීමේදී ගොතගැසීම, සිහිකල්පනාව අඩුවීම, බොරු කීමට, වංචා කටයුතුවලට පෙළඹීම ආදී ක්‍රියාවල යෙදෙයි. බුධ සමඟ ගුරුද සිංහ රාශියේ සිටී.

ඔබේ උපන් කේන්ද්‍රය අනුව සිංහ ලග්නය හැර බුධ ලග්නගතව සිටීම ඉතා ශුභයි. භාෂා, ශාස්‌ත්‍ර ඉගෙනගනී. බුධ 02 වැන්නේ සිටීමෙන් ධනය ලබයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇතිවේ. 03 වැන්නේ නම්, රූපය ලස්‌සන වෙයි. සහෝදර ඵල ලබයි. අධ්‍යාපන කටයුතු හොඳින් කරගනී. 04 වැන්නේ බුධ සිටීමෙන් ඉඩම් දේපළ - වාහන ලාභ ලබයි. 05 වැන්නටද බුධ ශුභයි. ක්‍රීඩාවලට දක්‌ෂයි, සංගීත කලා කටයුතු ප්‍රිය වේ. 06 දී රෝග පීඩාවලට ගොදුරු වේ. ඥතීන්, මිත්‍රයින් සමඟ අමනාප වේ. හමේ රෝග ඇතිවේ. 07 වැන්නේදී උසස්‌ විවාහයක්‌ කරගනී. ලිවීමට, කියවීමට ඉගෙනීමට දක්‌ෂයි. උණ රෝග හටගනී. 08 වැන්නේ සිටීමෙන් සිතට කරදරයි. රෝගාබාධ ඇතිවේ. විවාහයෙන්, ආර්ථික අපහසුතා ඇතිවේ. 09 දී ඉගෙනීමට දක්‌ෂයි. සංගීත කලා කටයුතු ප්‍රිය කරයි. ධාර්මික ලෙස ජීවත්වේ. 10 වැන්නේදී කතාවට දක්‌ෂයි. තැනට සුදුසු පරිදි ක්‍රියා කරයි. රජයේ තනතුරු ලබයි. 11 වැන්නටද බුධ ඉතා ශුභයි. කිත් පැසසුම් ලබයි. දුබලව සිටිවිට ප්‍රයෝගවලට අසුවේ. 12 දි වියදම් වැඩීවේ. විදේශ ගමන් යෙදෙයි. නඩුහබවල පැටලිය හැකිය.

ඔබේ ලග්නයට අනුව බුධ මාරුව මෙසේය

අගෝස්‌තු 11 දා දක්‌වා බුධ සමඟ ගුරුද සිංහ රාශියේ ගමන් කරයි.

මේෂ - 03 අධිපති බුධ 05 වැන්නේ ගමන් කරන නිසා ඉගෙන ගන්නා අයට යහපත්ය. සහෝදර සම්බන්ධතා හොඳින් පවත්වාගනී. ආලය පිළිබඳ කටයුතුවලින් සිතට දුක්‌ උපදී. ගුරුද 05 ගමන් කිරීමෙන් දරුවන්ගේ දියුණුවට කටයුතු කරයි. උසස්‌ රැකියාවක්‌ කිරීමට භාග්‍යවන්ත වේ. අන් අයට උපදෙස්‌ දීමට දක්‌ෂයි.

වෘෂභ - 04 වැන්නේ බුධ ගමන් කරයි. තරමක අහංකාර ගතියක්‌ පෙන්වයි. ගෙදර දොර කටයුතු ගැන උනන්දු වෙයි. මවට හොඳින් සලකයි. ගේදොර ඉඩම් ලාභ ලබයි. ගුරු 04 සිටීමෙන් ඥතීන් සමඟ ආශ්‍රය අඩුවේ. උරුම හිමිකම් දේපළ ලබයි. අවිවාහකයන්ට විවාහ කටයුතු සාර්ථකවේ. වාසනාවන්ත දරුවන් ලබයි.

මිථුන - ලග්නාධිපති බුධ 03 වැන්නේ ගුරු සමඟ ගමන් කරන නිසා ගෞරවය, කීර්තිය ලබයි. අධ්‍යාපන කටයුතු හොඳින් කරගනී. අලංකාරයට , විනෝදයට කැමැතියි. තරමක්‌ අහංකාර ගතියක්‌ පෙන්වයි. ධාරණ ශක්‌තිය හොඳින් පවතී. කඩිසරයි, උත්සාහය හොඳින් පවතී. නිර්භීතව වැඩ කරගනී. සහෝදරයන්ගේ දියුණුව උදාවේ.

කටක - බුධ ගුරු සමඟ 02 වැන්නේ ගමන් කරන නිසා කතාවෙන් ජයගනී. අදහස්‌ පාලනය කරගෙන වැඩකරයි. තමාගේ වාසිය ගැන සිතයි. විවාහ සහකාරිය සමඟ මතබේද හටගනී. ධනවත් වේ. සකසුරුවම පවතී. පහත් අය ආශ්‍රය නොකරයි. තර්ක ජයගනී.

සිංහ - බුධ - ගුරු ලග්නගතව සිටීමෙන් කල්පනා ශක්‌තීන් හොඳින් පවතී. තමාගේ උත්සාහයෙන්ම දියුණුව සලසාගනී. නොදන්නා දේවල් පවා දන්නා අයකු ලෙස කරයි. සතුරන් වර්ධනය කරගනී. විපත්ති කරදර මැඬගෙන කටයුතු කරයි.

කන්‍යා - 12 වැන්නේ බුධ - ගුරු ගමන් කිරීම එතරම් යහපත් නැත. වියදම් අධිකයි. සකසුරුවමක්‌ නැත. දුර බැහැර පදිංචිය සිදුවේ. ස්‌ථාන මාරු ඇතිකරයි. තරමක මුරණ්‌ඩු ස්‌වභාවයක්‌ ගනී. අවිවාහකයන් දුර බැහැරින් විවාහය සිදු කරගනී. දුර බැහැර ප්‍රදේශවල අය සමඟ හිතවත්කම් ඇති කර ගනී.

තුලා - 11 වැන්නේ බුධ - ගුරු ගමන් කිරීම ඔබට යහපත්ය. සමාජයෙන් ගෞරවය ලබයි. ආදායම තත්ත්වය යහපත් වේ. ශාස්‌ත්‍රීය අංශයෙන් දියුණුව උදාවේ. වැඩට දක්‌ෂයි. ත්‍යාගශීලී වේ. රැකියා කටයුතු සාර්ථක වෙයි. ශරීර සෞඛ්‍යය සඳහා මුදල් වැය වේ. උගතකු ලෙස ප්‍රසිද්ධ වෙයි.

වෘශ්චික - 10 වැන්නේ බුධ ගුරු සිටීමෙන් වැඩකටයුතුවල අවුල් ස්‌වභාවයක්‌ ගනී. තිබෙන දේට වඩා තියෙන බව පෙන්වයි. නිහතමානී ගතිය අඩුයි. රාජ්‍ය අංශයේ තනතුරු ලබයි. තරමක්‌ උඩඟු ස්‌වභාවයක්‌ පෙන්වයි. ඥතීන් අතර ප්‍රධානියකු වේ. තමාගේ හැකියාවන්වලින් ගෞරවයට පත්වෙයි. ව්‍යාපාර කොන්ත්‍රාත් වැඩවලින් ලාභ ලබයි.

ධනු - බුධ - ගුරු 09 සිටීම නිසා උසස්‌ අධ්‍යාපනයට යොමුවේ. හැම වැඩක්‌ම ලොකුවට කිරීමට සිතයි. රැකියා තනතුරු ලැබේ. බැංකු ගනුදෙනුවලට සම්බන්ධ වෙයි. වැඩ කිරීමට සේම වැඩ ගැනීමටද දක්‌ෂයි. ආත්මගෞරවය රැකගනී. ඉඩම්, දේපළවලින් ප්‍රයෝජන ලබයි. කාටවත් යටත්වීමට කැමැති නැත.

මකර - 08 වැන්නේ බුධ - ගුරු සිටීමෙන් හැම වැඩකින්ම කරදරවලට භාජන වෙයි. රහසිගත සතුරු කරදර උද්ගත වේ. වැඩිහිටියන්ගේ සහයෝගය නොලැබේ. පහත් ක්‍රියාවල යෙදෙයි. තමාගේ පාඩුවේ වැඩකරගනී. සිතට කරදර වැඩි කාලයකි. උණ රෝග වැළඳිය හැකියි. ශරීරය දුර්වල කරයි.

කුම්භ - 07 වැන්නේ බුධ - ගුරු සිටීමෙන් සමාජයේ කැපීපෙනී සිටීමට කැමැතියි. හැම වැඩක්‌ම ලොකුවට කිරීමට සිතයි. ප්‍රේම සබඳතා ඇති කරගනී. තරමක අහංකාර ගතියක්‌ පෙන්වයි. රජයේ තනතුරු ලබයි. උනන්දුව, උත්සාහය හොඳින් පවතී. සමාජයෙන් ගරු සැලකිලි ලබයි.

මීන - 06 වැන්නේ ගුරු බුධ ගමන් කරන නිසා තම වැඩකටයුතු අවුල් කරගනී. තමාගේ වැඩකටයුතුවලට බාධා කරන පිරිසක්‌ සිටිය හැකිය. සමාජයෙන් කරදර, හිරිහැර අත්වෙයි. ඉගෙනගන්නා අයට බාධක ඇතිවෙයි. අවිවාහකයන්ට, විවාහයෙන් අවුලක්‌ ඇතිවේ. වැඩිවිස්‌තර අවශ්‍ය නම් 0332273004 න් විමසන්න


ජ්‍යෙතිෂවේදී මීරිගම විද්‍යාල මාවතේ
ආර්. ඇම්. ටී. බී. රත්නායක