යෝෂිතගේ රත්මලානේ නිවස විකිණීම තහනම්

අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් යොදවා කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්ස් (CSN)ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඩේසි ෆොරස්ට් යන අය නමින් රත්මලාන ප්‍රදේශයෙන් මිලදී ගත් නිවස සහිත ඉඩම විකිණීම, අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය ඊයේ (15) නුගේගොඩ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝගයක් නිකුත් ක‍ළාය.

මෙම ඉඩම විකිණීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති හෙයින් එය වළක්වන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද බවට සැක කරන මුදල් යොදවා දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ඉඩම විකිණීම හා අන්සතු කිරීම තහනම් කරන ලෙසට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නො. 172/2, මිහිඳු මාවත, ගල්කිස්ස ලිපිනයේ පදිංචි ඩේසි ෆොරස්ට් යන අය නමින් ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ මිලදී ගැනීමක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණය පනත යටතේ විමර්ශනය පවත්වන බව පවසන පොලිසිය එකී විමර්ශනයේදී ඩේසි ‍ෆොරස්ට් යන අය සතු ඉඩම් හා දේපළ පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරීමේදී රත්මලාන, සිරිමල් උයන, කෙකටිය පෙදෙස අංක 4 දරන පර්චස් 31ක නිවසක් සහිත ඉඩම මිලදී ගෙන ඇති බවට කරුණු අනාවරණය වූ බව පැවසීය.

මෙම ඉඩම නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් ඒ.එම්.එම්. ප්‍රනාන්දු මහතා විසින් අංක 275 නමින් 2012/10/9 විකුණුම්කරය මඟින් 173/2 මිහිඳු මාවත, ගල්කිස්ස ලිපිනයේ පදිංචි ඩේසි ෆොරස්ට් නමින් මිලියන 24කට මිලදී ගත් බවට නුගේගොඩ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දන්වා තිබිණ.

මෙම ප්‍රශ්නගත දේපළ රොයල් පාර්ක් ලේක් ඩ්‍රයිව් රාජගිරිය පදිංචි මානෙල් රත්නායක යන අයගෙන් මිල දී ගෙන ඇති බවත් ඊට අදාළ ඔප්පුව ලියා සහතික කිරීම හා ගනුදෙනු රාජගිරිය ස්ටැන්ඩට් චාර්ටඩ් බැංකුව තුළ සිදු කර ඇති බවට මූල්‍ය අපරාධ අංශය අධිකරණය වෙත පැවසීය.

මිලියන 24ක වටිනාකමක් ඔප්පුවේ සඳහන් වූවත් මෙතෙක් කරන ලද විමර්ශනයට අනුව 34,540,000 විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පවසන මූල්‍ය අපරාධ කොට්ඨාසය මුද්දර ගාස්තු හා නොතාරිස් ගාස්තු ඇතුළුව මිලියන 36ක මුදලකට මෙම ප්‍රශ්නගත ඉඩම මිල දී ගෙන ඇති බවට අධිකරණයට දැන්වීය.

ඩේසි ෆොරස්ට් යන අයගේ ගිණුම පරීක්ෂා කිරීමේදී ඇගේ ගිණුමේ මෙ‍පමණ මුදලක් නොමැති බවත් එය උපයා ගත් ආකාරය පිළිබඳව තහවුරු කිරීමට ඇයට නොහැකි වූ බවත් 2006 අංක 5 මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය

ප්‍රසිද්ධ නොතාරිස් හා නීතිඥ ඒ.එම්.එම්. ප්‍රනාන්දු මහතා විසින් 2012/10/9 සහතික කළ අංක 275 දරන ඔප්පුවේ සහතික පිටපත් කොළඹ රෙජිස්ටාර් කාර්යාලයෙන්ද F 92/08 පත් ඉ‍රු දෙල්කඳ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන්ද ගෙන්වා විමර්ශන පවත්වන බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඉඩමේ විකුණුම්කරු මානෙල් රත්නායක හා දුෂන් එඩ්ගා රත්නායක යන අයට අදාළව රාජගිරිය ස්ටැන්ඩට් චර්ටඩ් බැංකුවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම්වල විස්තර ද මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය එම බැංකු කළමනාකරු වෙත ද නියෝගයක් නිකුත් කළේය. ඊට අමතරව ‍නො. 4 කෙකටිය පෙදෙස සිරිමල් උයන, රත්මලාන පිහිටි පර්චස් 31 ඉඩම විකිණීම අන්සතු කිරීම තහනම් කරමින් නුගේගොඩ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙත නියෝගයක් ද නිකුත් කළේය.