දින 75ක් රිමාන්ඩ් හිටපු කැලණි සරසවි සිසුන්ට ඇප

සරසවි සිසුවියකට නවකවදය දුන්නේ යැයි චෝදනා ලැබ දින 75ක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කැලණි සරසවියේ සිසු සිසුවියන් අටදෙනා එක් අයකුට රුපියල් ලක්‍ෂයේ ශරීර ඇප දෙක බැගින් මුදාහැරීමට ඊයේ (26දා) නියෝග කළ ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පැමිණිලිකරුවන්ට තර්ජනය කිරීමක් වාර්තා වුවහෙත් ඇප අවලංගු වන බවද සැකකරුවන්ගේ පදිංචිය ග්‍රාම සේවා සහතික මඟින් තහවුරු කළ යුතු බවටද ඇප කොන්දේසි පැනවූවාය.

මේ නියෝගය මහර මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අදාළ අංශවලට දැනුම් දෙන ලෙසද විනුසුරුවරිය අදාළ නිලධාරීන්ට නියෝග කළාය.


නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය සරසවියේ නෙත්මා පවනී සමරනායක ශිෂ්‍යාව කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත ඉකුත් මැයි 06දා මෙම සිසුන් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් අතර සිසුන් පස්දෙනකු හා සිසුවියන් තිදෙනෙක් වෙති.


පැමිණිලිකාර ශිෂ්‍යාවගේ ආරක්‍ෂාව සහ ඇයට බාධාවක් හිංසාවක් නොවීමේ වගකීම කැලණි සරසවියේ ශිෂ්‍ය සංගමයේ අශාන් අචින්ත සහ නන්දන සුදේශ් යන සිසුන් දෙදෙනා භාරගන්නා බවට සැකකාර සිසුන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර සරසවි සිසුන්ට අවවාදාත්මක අනුශාසනාවක් ද විනිසුරුවරිය විසින් කළාය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ශ්‍රියානි අබේගුණවර්ධන මහත්මිය පෙනී සිටි අතර සැකකාර සිසුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා ප්‍රමුඛ නුවන් බෝපගේ සහ චතුර වෙත්තසිංහ යන නීතිඥවරු කරුණු ඉදිරිපත් කළහ.