ආගමන විගමන හිටපු පාලකට ලක්ෂ 66ක දඩ

වසරක් ඇතුළත සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ දෙකක මුදල් හා රුපියල් ලක්ෂ විස්සක නිවෙසක හිමිකාරීත්වය දැරූ බවට අල්ලස් පනතේ දූෂණය නමැති චෝදනාවට වරදකරු කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පාලක ජයසිංහ ආරච්චිගේ ආරියසේන නමැත්තාගෙන් ඔහු හිමිකාරීත්වය දැරූ දේපළවල වටිනාකමින් තුන් ගුණයක් එනම් රුපියල් ලක්ෂ 66ක් දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ඊයේ (22) නියෝග කළාය.

එම දඩය නොගෙවන්නේ නම් මාස 18ක ලිහිල් සිරදඩුවමක් ගෙවීමටද විනිසුරුවරිය නියෝග කළාය.

තව ද චූදිත හට දස වසරකට අත්හිට වූ දෙවසරක සිරදඬුවමක් නියම කළ විනිසුරුවරිය රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවීමට ද නියෝග කළාය. විත්තිකරුට එරෙහිව නඟා ඇති අධි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව ඊයේ (22) තීන්දු කළ විනිසුරුවරිය විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂි කිසිසේත් පිළිගත නොහැකි බව ප්‍රකාශ කළාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

දේවකාරියක් ලෙස ඉටු කළ යුතු රාජකාරිය මුදල් ඉපැයීමට යොදා ගන්නා දූෂිත රාජ්‍ය නිලධාරින්හට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස හා සෙසු රාජ්‍ය නිලධාරීන්ට ද අවවාදයක් වන ලෙසට විත්තිකරුට දඬුවම් නියම කරන මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නීති නිලධාරීන් සමඟ මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශනිල් කුලරත්න මහතා ඊයේ (22) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සේවයේ ඇති දූෂණ මැඬලීම අධිකරණය සතු වගකීම බව ද ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතීඥ ශනිල් කුලරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. මේ වන විට අවුරුදු 69ක් වන සිය සේවා දායකයාගේ සෞඛ්‍ය තත්ත්වය හා වයසත් පෙර වැරැදි නොතිබීමත් සැලකිල්ලට ගන්නා ලෙස චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය. 1996 වසරේදී අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් චූදිතට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණි. 2004 වසරේ වරාය හා නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස විත්තිකරු සේවය කරමින් සිටියදී වැඩ තහනමට ලක් කර ඇති බවත් පෙන්වා දුන් චූදිත‍ගේ නීතිඥවරයා මේ වන විට ඔහු බිරියගේ විශ්‍රාම වැටුපෙන් ජීවත්වන බව පෙන්වා දුන්නේය. චූදිත වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා චූදිතට නියම කළ දණ්ඩනය ගෙවීම සඳහා ලබන මස 24 වැනිදාට දින ලබා දුන්නාය.